If you need her work hard

Image
2011යේ දෙසැම්බරයි. නත්තල් දා හෝ ඊට පසු දින පළමු වර විභාගයේ ප්‍රතිඵලය ලැබුණි. එලොවටත් නැති මෙලොවටත් නැති එය රසායන විද්‍යාවට C සාමාර්ථයක් හා අනිත් ඒවාට S සමාර්ථ බැගිනි. අසමත් වේ යැයි බියෙන් සිටි මට එය යම් අස්වැසිල්ලක් වූව ද අවුරුදු 13ක් තිස්සේ බලාපොරෙත්තු පොදි බැඳ සිටි අම්මාටනම් එය එසේ නොවන්නට ඇත. ඇගෙන් ඉටු විය යුතු සියල්ලක්ම ඇය අකුරක් නෑර ඉටු කලද මා ඒවා තඹ දොයිතුවකට හෝ මායිම් නොකර මගේම ලෝකයක ජීවත් වීමි. ඒයට වරද කිසිවෙකුගේවත් නොව මගේමය. පන්ති භේදය ගැන දැන දැනත් මා කිසිම දිනෙක නොලැබෙනා වග දැන දැනත් හැඟීම් වලට වහල් වී නොලැබෙන ආදරයක් පස්සේ ගියේ අම්මාගෙ හීන පාගා දමමිනි. පාඩම් කරනවා වෙනුවට හීන මවමින් ඒවායේ ජීවත් වුනෙමි. මා කොළඹට වී කල කාලකණ්නි වැඩ ගැන අම්මා නොදත් නිසාවෙන් දෝ ඇය මට දශමයක්වත් දොස් පැවරුවේ නැත. ඇය සිතුවේ පාසලේ බාහිර වැඩ නිසාවෙන් විභාගය අවුල් යන්නට ඇතයි කියාය. ඇය පැවසූ එකම දේ නම් ආයෙමත් කරපන් මයේ පුතේ යන්න පමණකි. ආයෙමත් කිරීමට තරම් ධෛර්‍යයක් මා සතුව නොවීය. ඒ සඳහා මාගේ මොල ගෙඩියද සකස් වී නොමැති බව මා හොඳින්ම දනී. විභාගයේදී පෘෂ්ඨික ආතතිය ප්‍රශ්ණය චලිත සමීකරණ යොදා විසඳීමට තරම් මා මොට්ටයෙක් විය. මා මටම ශාප කර ගතිමි. මෙය මුල සිටම ලේසියෙන්ම කරගන්නට තිබූ දෙයකි. මාගේ හොඳම යාළුවා රාහුබද්ද ය. ඔහුට උන සිද්දියත් තරමක මේ හා සමානය. මේ ඔහු එවා තිබුණි කෙටි පණිවිඩකි. “Ado Petti, umba upset ganna epa bung. unta penna me para gema gahapan. bokken wada karapan. unta salli thiyena hinda private campus gane yai. apita me nidhahas adyapanayen arenna goda emak na bung. “Forget what u hurt in the past, but never forget what it taught u” ehenam Moratuwedi hambemu.tc.” ඔහු පවසන්නේ ඇත්තය. අප වැනි උන්ට ගොඩ යන්නට ඇත්තේ නිදහස් අධ්‍යාපනයම පමණකි. වුණු සියළු දෑ පසෙකළු නැවතත් විභාගයට සූදානම් වන්නට මම පටන් ගතිමි. ෆේස්බුක් අත්හළෙමි. රූපවාහිනියත් නතර කළෙමි. ජංගම දුරකථනයත් පසෙකලා නැවතත් පංති යාම ආරම්භ කළෙමි. කොළඹ නොඇවිදින් ගෙදර සිටන්ම පාඩම් කරන්නට පටන් ගත්තෙමි.
මුලින්ම මා පංතියකට කියා ගියේ සර් කෙනෙක්ගේ ගෙදරක තිබූ පංතියකටය. එහි ඉගැන්වූ මෙලෝ දෙයක් මගේ චූටි මොළ ගෙඩියට වැටහුනේ නැත. එනමුත් මා සති හතරක් හෝ පහක් එක දිගට පංති ගියෙමි. එහි තවත් විශේෂ චරිතයක් වීය. ඇය ගැන මාගේ හිත මටත් හොරාම සිතන්නට පටන් ගත්තාද රෑ වැටුනු වලේ දවාලේ පනින්නේ ඇයි දැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගෙන එය අමතක කර දැමීය. මම එම පංතිය නවතා දැමූවෙමි. ඒ එහි ඉගැන්වූ මෙලෝ හසරක් නොතේරුනු නිසාත් අර කලින් කියූ විශේෂ චරිතය නිසා මා හිත වෙනත් අන්තයන්ට ඇදී යන නිසාත් ය. කෙසේ හෝ දින ගනන් මාස ගනන් ගෙවී යද්දී ඇගේ ගැන මා ඉඳ හිට හිතුවත් ඇය මගේම කර ගන්නට තරම්ම එය ප්‍රබල නොවීය. දිනෙක අහම්බෙන් මෙන් මා ඇගේ මිතුරියකගෙන් ඇගේ දුරකථන අංකය බලෙන් මෙන් ඉල්ලා ගත්තෙමි නමුදු යවන්නට තරම් දෙයක් නොවූ හෙයින් මා නිහඬවම සිටියෙමි. සිංහල අළුත් අවුරුද්ද දා ඇයට සුභ පැතුමක් එක් කළෙමි. මුලදී ඇය ගනන් උස්සා ගස්ස ගස්සා සිටියාය. එතනින් පටන් ගත් එය ටිකෙන් ටික ඉඳ හිට කතා කරනා තත්වයට පැමිණීය. දැන්නම් මා සිත ඇයවම ඉල්ලයි, එනමුත් මා ඉලක්කයත් අම්මා සොයනා සතුටත් කළින් ඉගෙනගත් පාඩමුත් මට හොල්මන් කරයි. එහෙන් ඇය මා හිත හොරාගෙනය, මෙහෙන් මා විභාගය වෙනුවෙන්ය. විභාගය ඇන ගත්තෝතින් නම් ඇයව කෙසේවත් ලබා ගන්නවා බොරුය. එවිට සිදුවනු ඇත්තේ මුල් වර සිදු වූ සිද්දියමය. අවසානයේ කවුරුන්වත් නොමැතිව ඉතුරුවන්නේ අම්මා ම පමණකි. මා හට රැවුලත් කැඳත් දෙකම බේරා ගන්නට ක්‍රමයක් නොවීය. යා හැකි හොඳම විසඳුමක් මා සෙවූවෙමි. අවසන මා තීරණය කලේ රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමටය. මා මටම අභියෝගයක් ලබා දුනිමි. ඒ මේ පින්තූරයේ ඇති දේයි. මා එය ලියා තැබුවේ පාඩම් කරනා තැනය. මා මනෝ ලෝක වල තනිවෙද්දීම මෙය දැකීමෙන් නැවතත් පාඩමට සිත් යෙදෙයි. පාඩම් කරනා සෑම මොහොතකම ඒ දේට සිත් යෙදීය ඇය සමග මැසේජ් කරතද, ඒ වැඩ කරනා විට නොවේ. මේ අතරදී ඇගේ මල්ලීට ඩෙංගු මදුරුවෙක් දශ්ඨ කරනුයේ මගේ පෙර වාසනාවකටය. එයින් තරමක් අසාධ්‍ය වූ ඔහු කොළඹ රෝහලක් නවත්තද්දී ඇගේ තනි නොතනියට දුක බෙදා ගන්නට මා වෙනදාට වඩා ඈ ලඟින් සිටියෙමි. එම සිද්දියෙන් පසු ඈ හා මා බොහෝ සෙයින් ලන් වූයෙමු. නමුත් අප තවමත් හොඳම යාළුවන්ය. මම දැන් ඇය ගැනද වද වෙයි එනමුත් ඉලක්කය අමතක කලේ ම නැත. ඇය මගේ කරගෙන මගේ සතුටත් විභාගය හොඳින් කරගෙන අම්මාගේ සතුටත් දෙකම එක ලෙස ලබා ගැනීම මා සතු කාර්‍යයයි. කෙසේ නමුදු දැන් මට ඈ නැතිවම බැරිය. එක කෙටි පණිවිඩයක් හෝ එව්වේ නැතහෝත් කෑවත් නොකෑවා වැනිය. ඇයටද එසේ වන්නට ඇත. එයට මා උපක්‍රමයක් යෙදීය. මා පාඩම් කරනුයේ රාත්‍රියේදීත් ඇය පාඩම් කරනුයේ පාන්දරත් නිසාවෙන්, මා නිදන්ට යන විට ඇයව කූද්දා යෑමට පුරුදු විය. ඇයද එයට පුරුදු වීය. කෙතරම් ඈ හා මා ලන් වූවත් මා හිතේ තදින්ම විශ්වාස කල දෙයක් වූයේ කෙනෙක් යම් කෙනෙකුට ආදරය කරයි ද එය අන් කෙනාට පැවසීය යුතු නැත, එය ඒ කෙනාට ඉබේම දැනෙනු ඇත. එබැවින් මා ද ඇයට කිසිම දිනෙක ආදරය කරන වග නොපැවසීමට ඉටා ගත්තෙමි, මා ආදරය යන්නට නිර්වචනයක් දෙන්නට හරි හැටි නොදනී. නමුත් ඈ ගැන ඇති ව් තිබූ කැමැත්ත හා ගැති කම ආදරය වන්නට ඇතයි සිතමි. ඇය යම් යම් දින වල මෙවැනි කතා වලට මුල පිරූවද මම ඒවාගෙන් ලිස්සා ගියේ විභාගයට මුල් තැන දිය යුතු නිසාවෙනි. විභාගය එන තුරුත් අපි බොහෝ ලඟින් සිටීයෙමු. එතකල් තවත් බොහෝ රසවත් සිද්දීන් ද වීය. විභාගය දින වලදී තරමක් දුරස් වූ මා හා ඈ කථා කලේ අල්ප වශයෙනි. කෙසේ හෝ පොදු පරීක්ෂනය විභාගයේ අවසාන දවසයි. එය නිමා කර යාළුවන්ටද සමු දී මා ගෙදර එන විට මාගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබී ඇත එහි සඳහන් වූයේ අපි අපේම වන්නේ කවදා ඉඳන්දැයි යනුවෙනි. එනම් මා විශ්වාස කල දේ සත්‍යක් වී ඇත. මා තුළ ඈ කෙරෙහි වූ හැඟීම මා නොකීවාද ඇයට දැනී ඇත. මගේ දෙවැනි ෆස්ට් ලව් එක ආරම්භ වූයේ මෙතැකිනි. දැන් මා මහන්සි වූ විභාගයේ ප්‍රතිඵලයද පැමිණ ඇත, එය මට ඕනවාටත් වඩා ප්‍රමාණවත් ය. ඇය මට සැබෑවටම පෙම් කරනා වග මා හොඳින්ම දනී මන්දයත් බොහෝ කෙල්ලන් සොයනා සල්ලිවත්, ලස්සනවත් මා තුල ඇත්තේම නැත. මට ඇයට දීමට ඇති එකම දේනම් ආදරය පමණි. මා සතු එකම වත්කමනම් උගත්කම පමණි. මම ඇයට මට දිය හැකි ආදරය නොඅඩුව ලබා දෙන්නෙමි. ඇයද තවමත් එසේය. මා ගැන බොහෝ සෙයින් වද වෙයි. ඉදිරිය කෙසේ වේ දැයි හරි හැටි නොදනී. මන්ද ගැහැණුන්ගේ වෙනස් වීම විශ්වාස කළ නොහැකි ලෙස සිදුවන්නකි. මගෙන් ඇයට වැරදි දෙයක් නොවීමටද මා වග බලාගන්නෙමි. ඒ ඇයට මා සීමාරහිතව ආදරය නිසාවෙනි. අවසන කියන්නට ඇත්තේ මෙතෙක් කළක් මා හිතේ පැල පදියම් වූ බොහෝ සිහින යම් දිනෙක ඒ අකාරයෙන්ම නොවූවද යම් අකාරයකට හෝ ඒවා සඵල වී ඇති බවයි. එබැවින් හීන මවන්න, එනමුදු ඒවා අප සොයා එන්නේ නැත. අප ඒවා සොයා යා යුතුයි.
කිසිම වැද ගැම්මකට නැති මෙය කියවූ ඔබට ස්තූතියි.
– පෙට්ටි.

බලාපොරොත්තු

ඒ මීට අවුරුදු පහළොවකට පමණ පෙරය. දත් මදින්නට බෑ කියා අඬද්දිත්, කට මිරිකා දත් ටික මද්දවාගෙන නිල් පාට කොට කලිසමකුයි සුදු ෂර්ට් එකකුයි අන්දවාගෙන ලේන්සුවකුත් සාක්කුවේ එල්ලාගෙන වතුර බෝතලේකුත් බෙල්ලේ දාගෙන නම ගැසූ කාඩ්බෝඩ් කැබැල්ලක් සමග පාසළට (ඇදගෙන) ගිය මුල්ම දවස මට අද වගේ මතකය. දෙක වසරේ අක්කෙක් අවිදින් රෝස මලක් දී සිප පිළි ගත්තා තවත් හොඳට මතකය. එක වසරට ඇතුලත් වන විටත් කිසිඳු අකුරක් හෝ ලියන්නට නොදත් එකම ළමයා මා විය. එදා මා පාසල් ගියේ කිසිඳු බලාපොරොත්තුවකින් නොවූවද, මගේ අම්මාගේ හිතේ කප්පරක් බලාපොරොත්තු තියෙන්නට ඇත. මාව දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් නොකලත් පොළවට බරක් නොවී ජීවත් වෙන්න පුලුවන් එකෙක් වත් වනවා දැකීම ඇගේ හීනය වන්නට ඇත. මට ඒ බලාපොරොත්තු, ඒ හීන ගැන වැටහෙන්නට බොහෝ කළක් ගත වූවත් යම් මට්ටමකට හෝ මට ඒවා ඉටු කරන්නට හැකි වූවායි සිතිමි. තවත් බෝහෝ දේ කිරීමට ද ඇත. පාසල් ජීවිතේ ඉගැන්වූ කිසිඳු ගුරුවරයෙකුගේ හිත දිනා ගන්නට තරම් වාසනාව නොලද මා ඔවුන් ඉදිරියේ හංවඩු ගැසී සිටියේ හොඳ ළමයිනුත් වලට ඇද දානා එකෙක් ලෙසිනි. එහි එතරම්ම සත්‍යතාවයක් නැතිමුත් ඔවුන්ට මාව එපාවන්නට ලොකුම හේතුවනම් මගේ ඇඟ පුරා ඇති වාචාලකමයැයි සිතමි.
ආදරයක් නිසා වරක් අම්මාගේ සල්ලිත්, මහන්සියත්, බලාපොරොත්තුත් නැති කර දැමූ මා සමහරක් දේ ලබා ගන්නට විභාගය දෙවැනි කොට කටයුතු කළෙමි. අවසන මට විභාගයත් ඒ දේවලුත් දෙකම නැති වීය. උගත් පාඩම් වලින් සන්නද්ධව මා දෙවැනි වර කිරීමට හිත හදාගත්තේ කිසිවෙකුගේ වත් බල කිරීමක් නිසා නොව කඳුළු සඟවාගේන දුක නොපෙන්වා සිනා වී ගෙන ආයෙත් කරපන් මයේ පුතේ යැයි කියු අම්මාගේ වදන් නිසාය. බොහෝ කලක් පල් වෙවී තිබුණු මොළ ගෙඩියට දස වද දී පදම් කරගෙන මාස හතකින් මා දෙවැනිවර සඳහා සූදානම් වීමි. පළමුවර සමහර දේවල් වෙනුවෙන් විභාගය අත් හැරීයද දෙවැනි වර මා ඒ දේවල් වෙනුවෙන් හා අම්මාගේ සතුට වෙනුවෙන් විභාගයටම සිත් යෙදීය. දැන් මට හොඳ ප්‍රතිඵලයකුත්, අවශ්‍ය අනිත් දේවලුත්, අම්මාට සතුටකුත් ගෙන දෙන්නට ඉඩ ලැබී ඇත. මෙය මා තනිව ලැබූ ජයග්‍රහනයක් නොව බොහෝ දෙනෙක්ගේ උදව් මත ලැබූවකි. ඒ සියළු දෙනාටම මාගේ ප්‍රණාමය. ස්තූතියි.
ප.ලි – මාගේ ප්‍රථිපලය ය. භෞතික විද්‍යාවට A ද රසායන විද්‍යාවට B ද සංයුක්ත ගණිතයට C ද වේ. එය මහා ලොකු ප්‍රතිඵලයක් නොවූවද, මා බලාපොරොත්තු වන වාස්තු විද්‍යාඥයෙක් වීමට ප්‍රමාණවත් ය. මෙය එතරම් උදම් ඇනීමට තරම් කාරණාවක් නොවූවද, මා මෙය ලියා තැබුවේ මෙය ලබා ගන්නට මා කෑ කට්ට දන්නා නිසාත්, මා මුලදී සිටි තත්වයත් හොඳින්ම දන්නේ මා නිසාවෙනි.

~ පෙට්ටි.

කළලයකට දැනෙනා වේදනාව

කෙසේ පිළිසිඳ ගත්තාද
කවුරුන් දෙමාපියො වූවා ද
කළකයක් වූ මා
ආසයි එක හුස්මක්වත් ලබන්නට…

මාවිසින් ලියූ ප්‍රථම කවි පන්තිය. දිගටම කියවන්න

ප්‍ර. ප්‍රේ

වැස්සනම් එහෙමමයි,
මයේ හිතත් වායුගෝලය වගෙයි.
කැලඹිලා…
මම ඇයට නොව, ඇය මට නොව
වෙන වෙනම ප්‍රේම කතන්දර දෙකක.
කළුවර අහස් ගැබ විනිවිද යන
අකුණක් විලස නුඹ…
දුවයි හිත තුල එක වරම
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
පෙම් කළත් මා දැන් වෙනත් ලඳකට
ප්‍රථම ප්‍රේමය නුඹයි මා…

චක්‍ර.

තනිකඩ ව වූ කාලයත්
ආදරය කරනා කාලයත්
දුක දුකම මිස…

ඉපදෙන මැරෙන සසරේ උඹ
මගේ වී ඉන්ට ඇති
දස දහස් වාරයක්…

නිදි වරිත දෑස් මා
කෝමනම් පියා ගනිමිද
නැවත නොඅරින්ට…

අම්මා ද උඹ ද
බූ ගෑ හිසත් කසාවත ද
හැඟීම් සහ අශාවන්…

නාරා වල තුලම
යලි යළිත් ඉපදේවි
සල්ලි මත නැහේවි
ආදරය විඳීවි
දුක ද එලෙසින් ම
නැවටත් මැරේවි…