මම දෙපාරක්ම ඒ.ලෙවල් කලෙමි…

කලින් කලට සංස්කරණය වන උසස් පෙළ ප්‍රතිඵලයක් සහිත වූ මා දෙවනි වර සඳහා ප්‍රතිඵල ආ කළ සිටම සැරසුනෙමි.නමුත් එසේ නොවුනු ඉහළ ප්‍රතිඵල ලැබූ අය හට ප්‍රතිඵලයේ අවසන් සංස්කරණය ලැබෙනුයේ ඊට පසු අවුරුද්දේ විභාගයට සති දෙක තුනකට පෙරය. ඉහළ ගිය අය හට ගැටළුවක් නැත, නමුත් එහළ සිට පහළට වැටුනවුන් කුමක්නම් කරන්නද? ඉන්ජිනේරුවන් වෛද්‍යවරුන් වෙන්න තරම් ප්‍රතිඵලයක් අතැතිව සතුටින් සිටියවුන් මේක අයිති ඔයාලට නෙවෙයි, මේක වෙන කෙනෙක්ගෙ කියල ඒ සතුට අරගෙන යද්දී, මාස දෙක තුනකට වරක් ඒ සතුට එකිනෙකා අතර මාරු කරමින් ඔවුන් මේ සෙල්ලම් කරනුයේ මේ රටේ අනාගත පරපුරද ඔවුන් වැනිම ඔලමොට්ටලයන් පිරිසක් බවට පත් කිරීමට මද? සතුට නැති වූවන්ට අසාධාරණයක් නොවන්නට විභාගයට අයදුම් කරන්නට අවස්තාවක් ලබා දුනි, අවුරුදු දෙකක් තිස්සේ උගන්වන සියල්ල පාඩම් කරන්නට තිබුනේ සති දෙකකි. සක්‍ර පුත් වයිමා උසස් පෙළ ලියූවත් සති දෙකකින්නම් මේ සියල්ල කිරීමට නොහැකි බව උසස් පෙළ නමට හෝ හදාරා ඇති අය දනී. මෙවැනි තීරණ ගන්නා නරුමයින් අඩුම තරමේ උසස් පෙළට වාඩි වී ඇත්දැයිවත් දෝ කියා හැඟේ. මෙහි වූ ප්‍රධානම අවුලනම් ඉසෙඩ් අගයන් දෙකක් සැළකීමය. සංඛ්‍යානය පමණක්ම නොව ප්‍රායෝගික දැනුමද ඇති මහාචාර්‍යවරුන් මේ සඳහා සම්බන්ධ කර ගත්තානම් මෙතරම් අවුලක් නොයනු ඇත. ප්‍රායෝගිකව ගත් කල දෙවැනිවර සිසුන්ගේ මධ්‍යනය පළමු වර සිසුන්ගේ මධ්‍යනයට වඩා වැඩිය, එවිට ගනණය කිරීමේදී සැළකිය යුතු තරමේ වෙනසක් ඇතිවේ. කෙසේ හෝ අසාධාරණයට ලක් වූවන් කෙසේ වෙතත් අසහනයට ලක් වූවන්නව නම් අසහනයෙන් මුදවාගන්නා බව එස්.බී මාමා කට බලියනු කීප විටකම රූපවාහිනියේ දුටිමි. එයට වගක්වත් නැතිමුත් ඒසේ වේ යැයි බලාපොරොත්තුවෙන් සියල්ලෝම දෑස් නිරුත්තරව බලා සිටී.මේවා මතක් කරනට පාරට බැසි කල, අපව දේශපාළන අතකොලු යැයි හන්වඩු ගසති. අසාධාරණයට ලක් වූ සිසුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිම දේශපාලන බලපෑමක් නොමැත. මන්දයත් සෘජුවම නොවූවත් අණ්ඩුව මේ සඳහා වගකිවයුතු හෙයින් ආණ්ඩුවෙන් කිසිවෙකුත් මේ සඳහා ඉදිරිපත් නොවේ, අද ලංකාවේ විපක්ෂය ඇත්තේ වැලේ වැල් නැතිවය එබැවින් ඔවුන් ඉදිරිපත් වූවද එයි සිදුවන බලපෑම නොගැනිය හැකි තරම් කුඩාය. ගියවර විභාගයේ අවුල පටන් ගැනෙනුයේ ප්‍රතිඵල වලිනි, නමුත් මෙවර එය විභාග ආරම්භක දිනයේම පටන් ගැනිණි. පාසල් වාර විභාගයකවත් මෙතරම් දෝස සහිතව ප්‍රශ්න පත්‍ර දී නැත. ආරම්භක දිනයේ වූයේ සංයුක්ත ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය විය. අනුකළනය ප්‍රශ්නයේ පළමු කොටසේ බව පෙන්වීමට තිබුනේ 8/3 ය, නමුත් එය සෑදූ කල ලැබෙනුයේ 4/3 ය. ප්‍රශ්න පත්‍රය ආරම්භ කලේ අනුකළණයෙනි, වරක් සෑදුවෙමි 8/3 අවේ නැත, එන්නේ 4/3 ය. පිළිතුර පෙනෙන මානයේය, කුමක් හෝ තැනක් පොඩි වැරැද්දක් වී ඇතයි සිතමින් නැවතත් සැදුවෙමි, එසේ තුන් වරක් සෑදුවත් ආවේ 4/3මය.කරකියාගත නොහැකිව, අනෙක් කොටස් වෙත අවධානය යොමු කළෙමි. විනාඩි හතකින් පමණ කළ හැකි කොටසට විනාඩි විස්සක් පමණ වැය කර හමාරය. හිතද කලබල වී ඇත. එය අතහැර අනෙක් කොටස් සෑදුවද හිතට වද දෙනුයේ 8/3මය.අවසානයේ අනෙක් කොටස් සඳහා කාළය හරස් විය. ඊළඟ දවසේ දැන ගන්නට ලැබුනේ එම කොට වැරදීමකින් වෙනස් වී ඇති බවත්ය.ඒ සඳහා ලකුනු ලබා දෙන බව පවසා තිබුනද, එයට ලැබෙනුයේ ලකුනු 1.5 ක් පමණි. නමුත් ඒ සඳහා වැය වුනු අමතර කාළයට ගෙවන්නේ කවුරුන්ද? මහාචාර්‍ය පට්ටම් ගසාගෙන මාස හයක් තිස්සේ පත්‍ර සකස් කරනුයේ පීඩා විඳි අපව තවත් වල ටම ඇදදමනු පිණිසද? පංති ගොස් අණුකලනය ඉගෙන ගත් එකාටත්, පංති නොයා රස්තියාදු ගසමින් නිදහසේ සිටි එකාටත් අණුකලනයට ලැබෙනුයේ එකමවටිනාකමය. එහි ඇති අසාධාරණත්වය මොළයක් කියා නාමයක් හෝ ඇත්නම් තේරෙනු ඇත.සංයුක්ත ගණිතය දෙවැනි ප්‍රශ්න පත්‍රයේද මුද්‍රණ දෝශ තිබුනද ඒවා හරිගැස්වීමට කටයුතු යොදා තිබිණි. ඉන්පසු නැවතත් දෝශ මතුවන්නේ භෞතික විද්‍යාව දෙවැනි ප්‍රශ්ණ පත්‍රයේදී වේ. එහිද සංශෝදන පාසල් වලට එවා තිබූ නමුත් අප පාසලේ එය සඳහන් කලේ නැත. ප්‍රශ්නය මුල සිට කරගෙන යන විට අවසානයේ දී ඇති දත්ත හා නොගැලපේ, එය නැවත නැවත සෑදුවත් ලැබෙනුයේ එකම පිළිතුරය. අවසානයේ එම පශ්න පත්‍රයටද කාළය හරස් විය. ගෙදර ආ කල දැනගන්නට ලැබුනේ එම වැරැද්ද, අනෙකුත් පාසල් වල නිවැරදි කර ඇති බවයි. අප සිටි විභාග මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිළධාරියා ඉවත් කර තිබිණි, නමුත් එයින් අපට වන සධාරණය කවරක්ද? සමහර විටෙක ඒ සඳහා ලැබෙන ලකුනු හිමි වෙනු ඇත.නමුත් ලකුණු වලට වඩා වැරදි වෙනුවෙන් ගිය කාළය වැදගත් බව වගකිවයුතු සියළු දෙනා දැනගත යුතුය.එමෙන්ම ඒ සඳහා සාධාරණීය පිළිවෙතක් අනුගමනය කළ යුතුය. මෙවැනි වැරදි බොහෝමයක් අනෙක් විශයන්ගේද තිබුණු බව ආරංචි විය. මෙලොව කිසිවක් පරිපූර්ණ නැත, එහෙයින් වැරැද්දක් සිදුවීමේ හැකියවක් ඇත. නමුත් ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලිය මාස 6ක් පුරාවට ඇදීයන අතර මෙය සිදු කරනු ලබන්නේ එක් අයෙක් නොවන අතර මහාචාර්‍ය වරුන් කීප දෙනෙකුගේ එකතුවෙනි. එබැවින් කිසිඳු වැරැද්දක් සිදු නොවිය යුතුය.එමෙන්ම මේ සඳහා මහාචාර්‍යවරුන් යොදා ගැනෙනුයේ වඩාත් උසස් ගුණයෙන් යුතු ප්‍රශ්න පත්‍ර සකස් කිරීමටය එනමුත් අද තත්වය අනුව 4 වෙනුවට 8ත් 42 වෙනුවට 60 ත් ලියනා උදවිය සැබෑම මහචාර්‍ය වරුන්දැයි සැක මතු වේ. ඔවුන් ඔවුන්ගේ වගකීම් පැහැරහැරියද පඩි නඩි සම්බන්ධ වැඩ වර්ජන නම් පැහර හරින්නේ නැත. නිදහස් අධ්‍යාපනය භුක්ති විඳිනා අවසන් පරම්පරාව අප වනු ඇත. තව ටික දිනකින් කන්නන්ගර නාමයට පුදනා සියළු ගෞරව නැති වී යනු ඇත. සල්ලි වලට උපාධි දෙන තැන් දැන් දැන් ලංකාවේ දිග හැරෙමින් පවතී. ඒවාට යන්නට තරම් මුදල් යහමින් ඇති ඕනෑ තරම් අය ලංකාවේ සිටිති. එමෙන්ම ඒ හා මෙන් දෙතුන් ගුණයක්ම ප්‍රමණයකට කිසි දිනෙක එවැනි උපාධි කඩයකට ගොඩවෙනු බැරිය. අනාගතයේදී කම්කරුවාගේ පුතා කම්කරුවෙක්ම වනු ඇත. දුප්පත් පැල්පතින් දොස්තර පුතුන් බිහි නොවනු ඇත. ඒ වන විට සියල්ල බුද්ධි මට්ටම මත නොව මුදල් මත රඳා පවතිනු ඇත. නිදහස් අධ්‍යාපනයේ මළගම වෙනුවෙන් සෘජුවම වගකිවයුතු දෙපිරිසක් සිටී. එනම් ආණ්ඩුවේ සමහරක් ඇමති ලා, රාජ්‍ය නිලධාරීන් හා සරසවි කාලයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උගුර ලේ රහ වනතුරු කෑ ගසා උපාධිය ගත් කල වෙනත් රටකට ගොස් තම සේවය ලබා දී වැඩි සැප සොයනා ආත්මර්ථකාමීන්ය. බුද්ධි මට්ටමෙන් ඉහළ උන් රට හැරයති, ඉතිරිවන ඔලමොට්ටලයින් කීප දෙනෙක් දේශපාලනයට එති, ඒ ආ කළ විසඳුම් නොමැති ප්‍රශ්න බවට සෑම ක්ෂෙත්‍රයක්ම පත්වනු ඇත. දැන් අපට නිදහස් අධ්‍යාපනය දෙනවා වෙනුවට, වගකිවයුත්තෝ අධ්‍යාපනයෙන් නිදහස් වී ඇත. එහෙත් බොහෝ ලොක්කන්ගේ පුත්තු, දූවරු නවක වදයෙන් තොර, පංති තහනමින් තොර, වැඩ වර්ජන වලින් තොර විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති. සමහරක් විට මෙතරම්ම අධ්‍යාපනය අවුල් කරනුයේ තමාට වඩා නුවනැති පිරිසක් බිහි වේ යැයි ඇති බිය නිසා විය හැක. අද ලංකාව තුල උපාධිය තිබුනද රැකියා නොමැත, සරසවි ගියද උපාධිය ලැබෙන්නේ නැත, සරසවි යන්නට වරම් තිබුනද ඒවාට බඳවා ගැනීමට වගක්වත් නැත. උසස් පෙළද දැන් දෙකයි පනහේ තත්වයට ඇද වැටී ඇත. ලංකාවේ අධ්‍යාපනය කිසිම අතකින් දියුණුව දෙසට නොයයි. විසඳුම් නොමැති ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ නව කළාව වන ජනපතිගේ පූර්ණ මැදිහත්වීම මේ සඳහාද ලැබිය යුතු වේ. එමෙන්ම උසස් අධ්‍යාපන ඇමති ලෙස මොලයක් සහිත වූත්, පොරත්වයකින් තොර වූත් අයෙක් පත් කළ යුතුව ඇත. ප්‍රශ්න වලදී හිනා නොයනා ජෝක් දමා එවායින් ලිස්සා යන එස්.බී මාමා හට උසස් අධ්‍යාපනයේ යෙදී සිටින සිසුන්, ආචාර්‍ය වරුන්, මහාචාර්‍ය වරුන් හා එම ක්ෂේත්‍රයේ සේවකයන්ගේ පවා කැමැත්තක් නොමැත. අප අසරණය, පිහිටට කිසිවෙකුත් නොමැත.අඩුම තරමේ මේ අසාධාරනකම් වලට ලක් වූ අප තවමත් කිසිඳු ඡන්දයකට හෝ කතිරය ගසා නැත. ඒ කෙසේ වෙතත් අපගේ හා අපෙන් පසු අයගේ අනාගතයටනම් කතිරය වැදී ඇත. හිත තුල වෛරය කැකෑරෙමින් පවතී, සියල්ල හැරදා යාමට සිතුනත් කුඩා කල සිටම මුල් බැස ඇති මේ රට මගෙ අම්මා කියන හැඟීම නිසාම එයටද හිත නොදෙයි. තරහව බිඳක් හෝ නිවා ගැනීමේ අරමුණින් යුතුව මේ සටහන මේසේ ලියා තැබුවෙමි.

රිවිර පුවත්පත.
අගෝස්තු 31.

ප්‍රතිචාරයක් ලබාදෙන්න